හබරාදූව පිලල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිටි තජිකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ව්‍යාජ විදේශීය මුදල් ළඟ තබාගෙන ඒවා භාවිත කර ගනුදෙනු කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත හබරාදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින මොවුන් දෙදෙනා ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට ව්‍යාජ ඩොලර් 400ක මුදලක් ලබාදී ඇති බවට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මොවුන් නවාතැන්ගෙන සිටි ස්ථානය පරීක්ෂා කර ඇති අතර එහිදී ඔවුන් සන්තකයේ තිබී තවත් ව්‍යාජ ඩොලර් 5200ක මුදලක් සොයා ගැනීමට පොලීසිය සමත් වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 27 යන වයස්වල පසුවන තජිකිස්ථාන ජාතිකයින් බව හඳුනාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














