ඉරාන-ඇමරිකානු යුද ගැටුම් හේතුවෙන් අමුද්‍රව්‍ය මිල ඉහළ යනු ඇතැයි පවතින බිය නිසා විදේශීය සමාගම් චීනයෙන් භාණ්ඩ ඇණවුම් කිරීම ඉහළ නංවා ඇති බව රොයිටර් පුවත් සේවය පවසා සිටියි. ආර්ථික විද්‍යාඥයන් 22 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ සමීක්ෂණයකට අනුව, අප්‍රේල් මාසයේදී චීනයේ අපනයන වර්ධනය 7.9% ක් දක්වා වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මාර්තු මාසයේදී මෙම අගය පැවතියේ 2.5% ක් වැනි පහළ මට්ටමකය.
පවතින යුද වාතාවරණය හමුවේ වුවද චීන අපනයනකරුවන් මේ වන විට ස්ථාවර මට්ටමක පසුවන්නේ විදේශීය ගැනුම්කරුවන් භාණ්ඩ තොග රැස්කිරීමට (Stockpiling) පෙළඹී සිටින බැවිනි. කෙසේ වෙතත්, යුද්ධය දිගුකල් ඇදී යාම සහ බලශක්ති මිල ඉහළ යාම නිසා ඉදිරියේදී ගෝලීය ඉල්ලුම පහත වැටීමේ අවදානමක් පවතින බව විද්‍යාඥයෝ අනතුරු අඟවති. විශේෂයෙන්ම ඉන්ධන සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ හැකියාවට දැඩි ලෙස බලපානු ඇත.
දකුණු කොරියාවෙන් චීනයට සිදුකරන අපනයන, විශේෂයෙන්ම අර්ධ සන්නායක (Semiconductors) අපනයනය පසුගිය මාසයේදී 63% කින් ඉහළ ගොස් ඇති අතර, එය චීනයේ කාර්මික නිෂ්පාදන ක්‍රියාවලිය යළි පණ ගැන්වෙන බවට ලකුණකි. මේ අතර, ලබන සතියේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වීමට නියමිත හමුවේදී කෘෂිකාර්මික නිෂ්පාදන සහ ගුවන් යානා කොටස් වෙළඳාම සම්බන්ධයෙන් සාධනීය තීරණ කිහිපයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














