ශ්‍රී ලංකාව මුදල් භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික QR ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන සමඟ මහජන බැංකුව ඉතා සක්‍රීයව අත්වැල් බැඳගෙන තිබේ. මෙරට ඩිජිටල් පරිවර්තනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් දියත් කෙරුණු මෙම වැඩසටහන හරහා භෞතික මුදල් මත යැපීම අවම කර, ජංගම දුරකතන ඔස්සේ වේගවත් හා ආරක්ෂිත ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
මහජන බැංකුවේ ප්‍රමුඛතම ඩිජිටල් පසුම්බිය වන “People’s Pay” යෙදුම මෙම වැඩසටහනේ ප්‍රධාන මෙවලමක් ලෙස භාවිත වේ. මෙම වැඩසටහන යටතේ පාරිභෝගිකයන්ට කිසිදු අමතර ගාස්තුවකින් තොරව QR ගනුදෙනු සිදු කළ හැකි අතර, රුපියල් 5,000 දක්වා වූ ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් ද ගාස්තු අය නොකිරීම විශේෂත්වයකි. මීට අමතරව, LANKAQR භාවිත කරන්නන් දිරිමත් කිරීම සඳහා තෝරාගත් ජයග්‍රාහකයන්ට වටිනා තෑගි පිරිනැමීමට ද සැලසුම් කර ඇත.
“People’s Pay” යෙදුම හරහා පුද්ගලයන් අතර සෘජුවම QR මගින් මුදල් හුවමාරු කිරීමේ (P2P) හැකියාව ද දැන් උදා වී තිබේ. එහිදී ගිණුම් අංක වැනි සංවේදී තොරතුරු හෙළි නොකර, QR කේත භාවිතයෙන් ආරක්ෂිතව මුදල් යැවීමට සහ ලබා ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව ලැබේ. භාෂා තුනෙන්ම ක්‍රියාත්මක මෙම යෙදුම හරහා බිල්පත් ගෙවීම් සහ ගිණුම් කිහිපයක් සම්බන්ධ කර ගැනීමේ පහසුව ද පාරිභෝගිකයන්ට හිමි වේ.














