ශ්‍රී ලංකාවේ ඩිජිටල් ශ්‍රම බලකාය සවිබල ගැන්වීමේ අරමුණින් Dijital Team Sri Lanka ආයතනය ලොව ප්‍රමුඛතම අධ්‍යාපන වේදිකාවක් වන LinkedIn Learning සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ තිබේ. කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි එම ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණු විශේෂ වැඩසටහනකදී සියලුම සේවකයන් සඳහා මෙම පහසුකම නිල වශයෙන් හඳුන්වා දුන් අතර, මෙලෙස LinkedIn Learning සිය සේවක ප්‍රතිලාභයක් ලෙස නිල වශයෙන් පිරිනැමූ මෙරට ප්‍රථම සමාගම් කිහිපය අතරට එක්වීමට Dijital Team සමත් විය.
LinkedIn ඉන්දීය නියෝජිත කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම හඳුන්වාදීමේ වැඩසටහනේදී, මෙම වේදිකාව හරහා සිය වෘත්තීය කුසලතා ඔප්නංවා ගන්නේ කෙසේද සහ ගෝලීය වශයෙන් තරඟකාරී දැනුමක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සේවකයන් දැනුවත් කෙරිණි. සේවකයන්ගේ වෘත්තීය අභිවර්ධනය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් සක්‍රීයව ආයෝජනය කිරීම හරහා Dijital Team ආයතනය තමන් සේවක කේන්ද්‍රීය ආයතනයක් බව යළිත් තහවුරු කර ඇත.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් Dijital Team කළමනාකාර අධ්‍යක්ෂ පීටර් වෝඩ් මහතා ප්‍රකාශ කළේ, සමාගමේ දැක්ම සැමවිටම සේවක අභිමානය සහ ඔවුන්ගේ වෘත්තීය දියුණුව මත පදනම් වන බවයි. නවීන තාක්ෂණය සහ දැනුම වෙත ප්‍රවේශ වීමට මග පෑදීම හරහා සිය සේවක පිරිසට වඩාත් උසස් වෘත්තීය අවස්ථා උදාකර දීමට සමාගම කැපවී සිටින බවත්, එමගින් ශ්‍රී ලංකාවේ සමස්ත ඩිජිටල් ක්ෂේත්‍රයේම ගුණාත්මක වර්ධනයක් අපේක්ෂා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














