ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත වන වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් (TO LAM) මහතා අද (08) පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. කොළඹ මහජන පුස්තකාලය වෙත පැමිණි වියට්නාම් ජනාධිපතිවරයාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, දෙරටේ ජාතික ධජ රැගත් පාසල් දරු දැරියන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා කොළඹ මහජන පුස්තකාලයේ ස්ථාපිත “වියට්නාම්-හෝ චි මිං පරිශ්‍රය” (Vietnam-Ho Chi Minh Space) පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට ද සහභාගී විය. එහි ඇති ඓතිහාසික ඡායාරූප එකතුව නිරීක්ෂණය කළ ඒ මහතා, පාසල් සිසුන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර නිර්මාණ නැරඹීමට ද කාලය වෙන් කළේය.
මෙම ව්‍යාපෘතිය තවදුරටත් සාර්ථක කර ගැනීම වෙනුවෙන් වියට්නාම් රජය විසින් ඇමෙරිකානු ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් ද කොළඹ නගර සභාව වෙත පිරිනමන ලදී. වියට්නාමයේ විගණකාධිපති න්ගුයෙන් හූ න්ගියා මහතා විසින් එම ප්‍රදානය කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය වෙත භාර දුන් අතර, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් ද මෙම රාජ්‍ය තාන්ත්‍රික අවස්ථාවට එක්ව සිටියහ.













