මෙටා සමාගම විසින් ඉන්ස්ටග්‍රෑම් ජාලයේ සෘජු පණිවුඩ සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබූ අන්තයේ සිට අන්තයට සංකේතනය කිරීමේ හෙවත් End-to-End Encryption (E2EE) පහසුකම ගෝලීය වශයෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. වසර හතක පමණ කාලයක් පුරා මෙම විශේෂාංගය පෙරනිමි සැකසුමක් ලෙස එක් කිරීමට උත්සාහ කළද, අවසානයේදී එම සැලසුම ඉදිරියට ගෙන නොයෑමට සමාගම තීරණය කර ඇත. ඒ අනුව 2026 මැයි 8 වනදා සිට ඉන්ස්ටග්‍රෑම් පණිවුඩ සඳහා ක්‍රියාත්මක වන්නේ ජීමේල් වැනි සේවාවන්හි භාවිත වන සම්මත සංකේතන ක්‍රමය පමණක් වන අතර, මෙහිදී අවශ්‍යතාවයක් වුවහොත් සේවා සපයන සමාගමට පෞද්ගලික පණිවුඩ වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවතී.
ළමා ආරක්ෂණ සංවිධාන මෙම තීරණය ඉතා ඉහළින් අගය කරන අතර ඔවුන් පෙන්වා දෙන්නේ පණිවුඩ සම්පූර්ණයෙන්ම රහසිගත වීම තුළින් ළමා අපයෝජකයන්ට නීතියෙන් සැඟවී සිටීමට අවස්ථාව ලැබෙන බවයි. කෙසේ වෙතත් පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් පවසන්නේ මෙය පරිශීලක ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් පසුගාමී පියවරක් බවයි. මෙම පහසුකම භාවිත කිරීමට පරිශීලකයන් දක්වන උනන්දුව අවම වීම මෙම තීරණයට හේතුව ලෙස මෙටා සමාගම නිල නොවන මට්ටමින් ප්‍රකාශ කර ඇතත්, ඇතැම් තාක්ෂණික විශ්ලේෂකයන් සැක පළ කරන්නේ සමාගමේ කෘත්‍රිම බුද්ධි (AI) මාදිලි පුහුණු කිරීම සඳහා පණිවුඩ දත්ත ලබා ගැනීමේ අරමුණින් මෙම වෙනස සිදු කරන්නට ඇති බවයි.
මෙම වෙනස හේතුවෙන් බලපෑමට ලක්වන සංවාදවල ඇති තොරතුරු හෝ මාධ්‍ය දත්ත අවශ්‍ය නම් බාගත කරගන්නා ආකාරය පිළිබඳව උපදෙස් ඉදිරියේදී පරිශීලකයන් වෙත ලබා දීමට ඉන්ස්ටග්‍රෑම් පියවර ගෙන තිබේ. ටික්ටොක් වැනි අනෙකුත් සමාජ මාධ්‍ය ජාල ද මෙවැනි සංකේතන තාක්ෂණයක් හඳුන්වා දීමට සැලසුම් කර නොමැති පසුබිමක, මෙටා සමාගම ගත් මෙම තීරණය ඉදිරියේදී සන්නිවේදන යෙදුම්වල රහස්‍යභාවය පිළිබඳ නව කතාබහක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.
















