කොස්ගම, සාලාව වත්තට අද (08) අලුයම ගිනි අවි සහ තියුණු ආයුධ රැගෙන ඇතුළු වූ හය දෙනෙකුගෙන් යුත් කොල්ල කණ්ඩායමක් එහි සිටි මුරකරුවන් දෙදෙනා ගැටගසා රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් දේපොළ පැහැරගෙන ගොස් තිබේ. පුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් මෙම වත්තේ වතු අධිකාරීවරයා පදිංචි නිවසට ඇතුළු වී ඇති සැකකරුවන් එහි තිබූ ලැප්ටොප් පරිගණක 04ක්, රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා රන් මාලයක්, මුද්දක්, රන් බිස්කට්ටුවක් සහ ජංගම දුරකථන දෙකක් මෙලෙස කොල්ලකා ඇති බව කොස්ගම පොලිසිය පවසයි. අලුයම කාලයේ සිදුවූ මෙම සංවිධානාත්මක කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.














