කොළඹ 07, ලොරිස් මාවතේ පිහිටි රජයට අයත් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දී ඇති පුද්ගලයින්ගේ තොරතුරු හෙළි කරන ලෙස ඉදිරිපත් වූ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ ඉල්ලීමක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. කථානායකවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු කුමන බලවතුන් එහි පදිංචිව සිටින්නේද යන්න දැනගැනීමට මහජනතාවට ඇති අයිතිය මත මෙම ඉල්ලීම සිදු කර තිබුණද, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පදනම මත එම තොරතුරු ලබා දිය නොහැකි බව අමාත්‍යාංශය පවසා ඇත. 2026 ජනවාරි මස ඉදිරිපත් වූ මෙම ඉල්ලීමට අදාළව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරිනිය විසින් නිල වශයෙන් දැනුම් දී ඇත්තේ අදාළ තොරතුරු ලබාදීම මගින් පුද්ගලික රහස්‍යභාවයට හානි විය හැකි බවයි. රජයේ දේපළ භාවිත කරන්නන් පිළිබඳ තොරතුරු මහජනතාවට විවෘත විය යුතු බවට මතයක් පවතින පසුබිමක අමාත්‍යාංශයේ මෙම තීරණය දැඩි කතාබහට ලක්ව තිබේ.














