ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සැක සහිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (08) ප්‍රකාශ කළේය. පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීමට ඉදිරිපත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ද දැඩි සැකයක් පවතින බවයි.
රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි පුද්ගලයකුට සම්බන්ධයක් නොමැති බොරු ඇපකරුවන් දෙදෙනෙකු හඳුන්වා දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම, මෙම ඇපකරුවන් හඳුන්වා දීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් හෝ බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වූයේද යන්න සොයා බැලීමට අධිකරණ පරිශ්‍රයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. මෙම ක්‍රියාවලිය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින බවට සමාජය තුළ සැකයක් නිර්මාණය වී ඇති බැවින්, මරණයට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට සහ දීර්ඝ කාලයක් රිමාන්ඩ් කිරීමට ගත් උත්සාහයන් පිළිබඳව ද සොයා බැලිය යුතු බව මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.














