මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය එළඹෙන මැයි 14 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (08) දැනුම් දුන්නේය.
මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මැන්ඩිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ නඩුවේ පළමු චෝදනාව වන ‘කුමන්ත්‍රණය’ කිරීම යටතේ විත්තිකාරියක ලෙස නම් කර සිටි ඩේසි ෆොරස්ට් මහත්මිය නිදහස් කර ඇති බැවින්, තම සේවාදායකයාට එරෙහිව එම චෝදනාව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි.
කෙසේ වෙතත්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ඩේසි ෆොරස්ට් මහත්මිය මුදාහරිනු ලැබුවේ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත පමණක් බවත්, එය විත්තියේ තර්කයට අදාළ නොවන බවත්ය. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන සඳුදා දැනුම් දීමට නියමිත අතර, දෙපාර්ශවයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මූලික විරෝධතා පිළිබඳ අවසන් නියෝගය ලබන 14 වැනිදා ලබාදීමට විනිසුරුවරයා තීරණය කළේය.













