මෙරට නිල සංචාරයක නිරත වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා අද (08) පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාව සමඟ සමුද්‍රීය, ගුවන්, තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් සහයෝගීතාවක් ඇති කර ගැනීමට තම රට අපේක්ෂා කරන බවයි. ඉන්දියන් සාගර කලාපය දක්වා වියට්නාමයේ සබඳතා ව්‍යාප්ත කිරීමේදී ශ්‍රී ලංකාව වැදගත් හවුල්කරුවෙකු වනු ඇති බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා නවීන ලෝකයට ගැළපෙන පරිදි ආර්ථික සහ තාක්ෂණික වශයෙන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම දෙරට අතර සෘජු ගුවන් සහ නාවික සබඳතා වැඩිදියුණු කිරීම මගින් වෙළඳාම සහ සංචාරක කර්මාන්තය නව තලයකට ගෙන යා හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














