උඩවලව රක්ෂිතය තුළ ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අක්කර 10ක ව්‍යාප්ත වූ ගංජා හේන් 07ක් වැටලීමට හම්බෙගමුව පොලිසිය සමත්ව තිබේ.
හම්බෙගමුව පොලිස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යූ.ඒ.වී. (UAV) බළගණයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර ඇත. එහිදී රක්ෂිතයේ සැඟව පවත්වාගෙන ගිය ගංජා හේන් හතක තිබූ ගංජා ගස් ලක්ෂ 03ක් සොයාගෙන ඇති අතර, ඒවායේ දළ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බව පොලිසිය පවසයි.
වගා කර තිබූ සියලුම ගංජා ගස් නිලධාරීන් විසින් ගලවා ගිනි තබා විනාශ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් ඇඹිලිපිටිය, තණමල්විල සහ හම්බෙගමුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 32, 47 සහ 52 යන වයස්වල පසුවන්නන්ය.
සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හම්බෙගමුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
















