රජයේ ඩිජිටල් ආර්ථික උපාය මාර්ගයේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය අංශය පුරා ආයතනික මට්ටමේ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින් ‘Public Impact Champions Network’ හෙවත් PIC-Net වැඩපිළිවෙළ ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන තිබේ. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මහජනතාවට උසස් තත්ත්වයේ සේවාවන් ලබාදීම මෙහි මූලික අරමුණ වන අතර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා විසින් මේ සම්බන්ධයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුවත් කර ඇත.
මෙම වැඩපිළිවෙළ යටතේ තෝරාගත් සෑම රජයේ ආයතනයකින්ම නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කෙරෙන අතර ඔවුන් ඩිජිටල් යුගයට ගැළපෙන පරිදි සේවා විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කරන ප්‍රමුඛයන් ලෙස කටයුතු කරනු ඇත. තාක්ෂණික භාවිතය ඉහළ නැංවීම, සේවා සැපයීමේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ ආයතනික ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම ලෙස සම්බන්ධීකරණය කිරීම ඔවුන්ගේ වගකීම වේ. මෙමඟින් සමස්ත රාජ්‍ය අංශයම ආවරණය වන පරිදි ඩිජිටල් පරිවර්තන ප්‍රමුඛයන් 400කින් පමණ සමන්විත ජාතික ජාලයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.
තෝරාගත් නිලධාරීන් සඳහා ඩිජිටල් පරිවර්තනය, සේවා ප්‍රතිනිර්මාණය සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ විශේෂඥ මගපෙන්වීමක් ලබාදීමට ද සැලසුම් කර ඇත. ජනාධිපති කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka ආයතනය එක්ව මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන අතර ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ද හිමි වේ. මෙමඟින් රාජ්‍ය සේවයේ පවතින ප්‍රමාදයන් මඟහැරී වඩාත් විනිවිදභාවයකින් යුත් නවීන රාජ්‍ය සේවයක් ඉදිරියේදී මහජනතාවට හිමිවනු ඇත.














