ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇමරිකානු මැතිවරණ ක්‍රියාවලියට මැදිහත් වන බවට නැවත වරක් චෝදනා කිරීම, දෙරටේ නායකයන් අතර පවතින සුහද සම්බන්ධතාවයට සහ වෙළඳ සටන් විරාමයට බාධාවක් විය හැකි බව වාර්තා වේ. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත කොංග්‍රස් මැතිවරණ ඉලක්ක කර ගනිමින් ට්‍රම්ප් විසින් සිදුකළ මෙම ප්‍රකාශය, චීන රජය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
අමෙරිකානු මැතිවරණවලට මැදිහත් වීමේ කිසිදු උනන්දුවක් චීනයට නොමැති බවත්, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ මුළුමනින්ම ගොතන ලද අසත්‍ය චෝදනා බවත් චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි. අමෙරිකාව පදනම් විරහිත චෝදනා එල්ල කිරීම නවත්වා තමන් දෙස ගැඹුරින් බැලිය යුතු බවද එම අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියෑන් පවසයි.
මේ වසරේ මැයි මාසයේදී චීන ජනාධිපති ෂී ජින්පින් සහ ට්‍රම්ප් අතර පැවති සුහද හමුවෙන් පසු දෙරට අතර වෙළඳ යුද්ධය තාවකාලිකව සමථයකට පත්ව තිබිණි. එසේ වුවද, සැප්තැම්බර් මාසයේදී ෂී ජින්පින් වොෂින්ටන් නුවරට පැමිණීමට නියමිතව ඇති පසුබිමක ට්‍රම්ප්ගේ මෙම නව ප්‍රකාශය දෙරටේ සබඳතා යළි පළුදු කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ සැක පළ කරති.
කෙසේ වෙතත්, මෙය ට්‍රම්ප්ගේ දේශීය දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකළ ප්‍රකාශයක් පමණක් බවත්, චීනයට දඬුවම් කිරීමේ කිසිදු යෝජනාවක් ඔහු මෙම කතාවට ඇතුළත් නොකිරීම තුළින් බෙයිජිං නුවරට මෙහි ඇති බරපතළකම අවම කරගත හැකි බවත් අභ්‍යන්තර තොරතුරු මූලාශ්‍ර පවසයි. 2020 මැතිවරණයේදී පවා චීන මැදිහත්වීමක් පිළිබඳ ට්‍රම්ප් චෝදනා කළද, එවැනි මැදිහත්වීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් ඇමරිකානු බුද්ධි අංශ විසින් සොයාගෙන නොතිබුණි.














