ලොව පුරා දැඩි භීතියක් සහ කුතුහලයක් නිර්මාණය කරමින් අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ ‘MV Hondius’ නම් සුඛෝපභෝගී කෲස් නෞකාව තුළ දරුණු ‘හැන්ටා’ (Hanta) වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවට පසුගිය සති අන්තයේ වාර්තා වීමත් සමඟ මුළු මහත් ජාත්‍යන්තරයම කැළඹීමකට පත් විය. නෙදර්ලන්ත ධජය යටතේ බටහිර අප්‍රිකානු කලාපය ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවේ සිටි මගීන් තිදෙනෙකු දැනටමත් මාරක වෛරසයට බිලි වී ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් අසාධ්‍ය තත්ත්වයෙන් මරණය හා සටන් කරමින් සිටින බව වාර්තා වේ. වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් කැනරි දූපත් බලධාරීන් විසින් මගීන් ගොඩබිමට ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා රටවල් 23 ක් නියෝජනය කරන මගීන් 150 කට ආසන්න පිරිසක් දින ගණනාවක් තිස්සේ මෙම “මාරක නෞකාව” තුළ කොටුවී සිටියහ.
ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් ආශ්‍රිතව නැංගුරම් ලා තිබූ මෙම නෞකාවෙන් මගීන් ඉවත් කිරීමේ තීරණාත්මක මෙහෙයුම අද (10) උදෑසන ආරම්භ වූයේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මධ්‍යයේය. ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍ය මොනිකා ගාර්ෂියා සඳහන් කළේ මගීන් ඔවුන්ගේ රටවල් අනුව කණ්ඩායම්වලට බෙදා කුඩා බෝට්ටු මගින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බවත්, මගීන්ගෙන් බහුතරයකට රෝග ලක්ෂණ වාර්තා වී නොමැති බැවින් ඉවත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත්ය. සාමාන්‍යයෙන් ‘රොඩන්ට්’ නම් මී විශේෂය මගින් ව්‍යාප්ත වන මෙම වෛරසය මෙවර මිනිසුන් අතර ව්‍යාප්ත වන බවට සෞඛ්‍ය බලධාරීන් සැක පළ කළ ද, ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික වන්නේ මෙය ගෝලීය වසංගතයක් දක්වා ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ ඉතා අවම බවයි.
මුහුද මැද කොටුවී සිටි මෙම මගීන්ගේ බලාපොරොත්තු සහගත මුදාගැනීම ජාත්‍යන්තර සෞඛ්‍ය සේවාවේ කැපවීම මැනවින් විදහා දක්වන්නකි. වෛරසය හමුවේ ජීවිතක්ෂයට පත් වූ මගීන්ගේ ශෝචනීය පුවත ලෝකයටම දෙන පණිවිඩය වන්නේ නොපෙනෙන සතුරෙකු ඕනෑම මොහොතක ඕනෑම තැනක සිට පහර දිය හැකි බවයි. කෙසේ වෙතත්, බලධාරීන්ගේ කඩිනම් මැදිහත්වීම මත දින ගණනක බිය සහ සැකය නිමා කරමින් මගීන් යළි ගොඩබිමට පැමිණීම, මනුෂ්‍යත්වයේ සහ විද්‍යාවේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. අද දිනයේ නිමාවට පත්වන මෙම මෙහෙයුම සුවහසක් ලෝකවාසී ජනතාවගේ පීඩිත මනසට යම් සැනසීමක් ගෙන එනු නිසැකය.













