ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය සම්බන්ධ ආන්දෝලනාත්මක මුදල් ගෙවීම පිළිබඳව පාර්ලිමේන්තු මුදල් කාරක සභාව නිකුත් කළ වාර්තාව පිටුපස සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට “ෆ්‍රී ලෝයර්ස් සංවිධානය” මේ වන විට බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ. ඉහළ නිලධාරීන්ගේ වගකීම් සහ වැරදි සඟවා, සමස්ත අර්බුදය පහළ මට්ටමේ නිලධාරීන් සහ පරිගණක පද්ධතිවල දෝෂ මත පැටවීමට මෙම පිටු 8 කින් සමන්විත වාර්තාව උත්සාහ කර ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ කමිටුවට පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීම පැහැර හරිමින්, වංචාවට සම්බන්ධ බලධාරීන්ට තම ලේඛන සකස් කර ගැනීමට මාසයක පමණ අතිරික්ත කාලයක් ලබා දීම හරහා මෙම පරීක්ෂණයේ ස්වාධීනත්වය පිළිබඳව අතිශය තීරණාත්මක ගැටලු මතු වී තිබේ.
මහා භාණ්ඩාගාරය, විදේශ සම්පත් සහ ණය කළමනාකරණ යන අංශ එකිනෙකට සම්බන්ධීකරණයක් නොමැතිව ස්වාධීන පරිගණක පද්ධති තුනක් භාවිතා කිරීම මෙම මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇති බව නීතිඥ සංවිධානය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් අනාවරණය කරයි. විශේෂයෙන්ම මුදල් රෙගුලාසි 135 යටතේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා ලෙස මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා නිසි දැනුවත්භාවයකින් කටයුතු කර නොමැති බවත්, මෙතරම් දැවැන්ත මුදල් ප්‍රමාණයක වගකීම තනි අධ්‍යක්ෂවරයෙකු වෙත පැවරීම අතිශය අයහපත් පරිපාලන ව්‍යවහාරයක් බවත් ඔවුහු අවධාරණය කරති. සිද්ධිය වී දින 30 ක් ගත වී ඇතත් මහ බැංකුවේ පාලන අධිකාරිය තවමත් මුනිවත රකින්නේ මහ බැංකුවේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට කමිටුව කටයුතු කරන නිසා දැයි සමාජය තුළ දැන් ප්‍රශ්නාර්ථයක් මතුව ඇත.














