තමිල්නාඩු ප්‍රාන්තයේ නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වූ තලපති විජේ (@actorvijay) මහතා වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය උණුසුම් සුබ පැතුම් එක් කර තිබේ. එක්ස් (X) පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ මෙය තමිල්නාඩුව සඳහා නව පරිච්ඡේදයක ආරම්භයක් බවයි.
සමාජ සාධාරණත්වය සහ ආගමික කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත් නොවීමේ ස්ථාවරය මත පදනම් වූ නව යුගයක් පිළිබඳ විජේ මහතාගේ ප්‍රවේශය මෙහිදී අගය කර ඇත. වෛරය සහ බෙදීම් වෙනුවට සාධාරණත්වය සහ සහජීවනය මත ගොඩනැඟුණු සමාජයක් මගින් සැබෑ අනාගතයක් නිර්මාණය වන බවත්, භාෂාව හෝ අනන්‍යතාවය කුමක් වුවත් ජනතාව අපේක්ෂා කරන්නේ ප්‍රගතිය සහ ස්ථාවරත්වය බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ. මෙම නව ගමන කලාපීය අවබෝධය සහ සහයෝගීතාව වර්ධනය කිරීමට හේතු වනු ඇතැයි ද එම සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ.














