රුසියානු පාලනය යටතේ පවතින යුක්රේනයේ ඔලෙෂ්කි නගරයේ දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකානු ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්රම්ප් මහත්මියගේ මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්රේනය අතර ඔක්තෝබර් 29 වැනි දින සිට ක්රියාත්මක වන පරිදි සටන් විරාමයක් ප්රකාශයට පත් කර තිබේ. 2022 පෙබරවාරි මාසයේ සිට රුසියානු හමුදා පාලනය යටතේ පවතින දකුණු යුක්රේන නගරයේ පවතින දැඩි ආහාර සහ වෛද්ය සැපයුම් අර්බුදය සැලකිල්ලට ගනිමින් සුදු මන්දිරය මෙම නිවේදනය නිකුත් කර ඇත. මෙම සටන් විරාමය හරහා ඔලෙෂ්කි නගරයට අත්යවශ්ය මානුෂීය ආධාර ඇතුළු කිරීමටත්, නම් කරන ලද ආරක්ෂිත මාර්ග ඔස්සේ සිවිල් වැසියන් ආරක්ෂිතව ඉවත් කිරීමටත් අවශ්ය පහසුකම් සැලසෙනු ඇත. යුද්ධය හේතුවෙන් දරුණු ලෙස විනාශයට පත්ව ඇති මෙම නගරයේ වැඩිම පිරිසක් වැඩිහිටියන් වන අතර, ඔවුන්ට වෛද්ය ප්රතිකාර, ඖෂධ, ආහාර සහ පිරිසිදු පානීය ජලය අත්යවශ්ය වී තිබේ. සටන් විරාම සමයේදී දෙරටේම නියෝජිතයන්ට වැසියන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ගේ අවශ්යතා සොයා බැලීමට සහ කැමති පාර්ශ්වයක් වෙත ඉවත් වීමට ප්රවාහන පහසුකම් සම්බන්ධීකරණය කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බව මෙලනියා ට්රම්ප් මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.












