පසුගිය පෙබරවාරි මාසයේ සිට පවතින කලාපීය යුදමය තත්ත්වය සමනය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ නවතම සාම කෙටුම්පතට ඉරානය සිය ප්‍රතිචාරය ලබා දී තිබේ. ඉරාන නිල පුවත් ඒජන්සිය (IRNA) වාර්තා කරන පරිදි, පකිස්තාන මැදිහත්කරුවෙකු හරහා මෙම ප්‍රතිචාරය අද (10) අමෙරිකාව වෙත භාර දී ඇති අතර, එහි අඩංගු සවිස්තරාත්මක කරුණු මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත.
මේ අතර, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා ඛමේනි සහ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරීන් අතර විශේෂ හමුවක් පවත්වා ඇති අතර, එහිදී ඕනෑම සතුරු ආක්‍රමණයකට ප්‍රබල ලෙස ප්‍රතිචාර දැක්වීමට ඉරාන සන්නද්ධ හමුදා සූදානම් බව අවධාරණය කර ඇත. ඉකුත් මාර්තු මාසයේදී සිය පියා වූ අයතුල්ලා අලි ඛමේනිගේ අභාවයෙන් පසු මොජ්තාබා ඛමේනි ධූරයට පත් වුවද, ඔහු මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ. කෙසේ වෙතත්, අමෙරිකානු බුද්ධි අංශ පෙන්වා දෙන්නේ ඉරානයේ යුද උපායමාර්ගික තීන්දු ගැනීමේදී නව උත්තරීතර නායකයා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි.













