රුපියල් හාර කෝටි හැත්තෑ හත්ලක්ෂ අසූ දහසකට අධික වටිනාකමකින් යුතු ‘හෂීස්’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙනැවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයෙකු ඊයේ (10) අලුයම අත්අඩංගුවට පත් විය. ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම සැකකරු කොටු කර ගැනීමට හැකි වී තිබේ. සැකකරු බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල ඉතා සූක්ෂ්ම ලෙස පරීක්ෂා කිරීමේදී ‘චොකලට්’ ලෙස අසුරා සකස් කළ ඇසුරුම් 15ක් තුළ මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබී ඇත. එහි තිබී හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 778ක ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය පවසයි. වෘත්තියෙන් අලෙවි සහායකවරයෙකු වන මෙම තරුණයා ඉතා සූක්ෂ්ම ලෙස රේගු පරීක්ෂාවන් මඟහැර මත්ද්‍රව්‍ය රට තුළට රැගෙන ඒමට උත්සාහ කර තිබීම විශේෂත්වයකි.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට පොලිසිය සැලසුම් කර ඇත. මෙම මත්ද්‍රව්‍ය ජාලය පිටුපස සිටින සෙසු පුද්ගලයන් කවුරුන්ද යන්න සහ මෙම ජාවාරමේ සුලමුල සෙවීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ වන විටත් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.














