සූදු ක්‍රීඩාවෙන් පරාජය වූ තම හිතවතෙකුට මුදල් සොයා දීම සඳහා මෝටර් රථ කුලියට ගෙන මී ගව පැටවුන් සොරකම් කර එළු මස් ලෙස විකිණීමේ අමුතුම ජාවාරමක් මෙහෙයවූ පාසල් සිසුන් තිදෙනෙකු ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලීසිය සමත් වී තිබේ. අම්බලන්ගොඩ ප්‍රධාන පෙළේ පාසලක සිසුවෙකු ඇතුළුව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් ද අම්බලන්ගොඩ සහ වතුගෙදර ප්‍රදේශවල පදිංචි පාසල් සිසුන් බව පොලීසිය අනාවරණය කරගෙන ඇත. තිලකපුර ප්‍රදේශයේ මාස තුනක් සහ අටක් වයසැති මී ගව පැටවුන් දෙදෙනෙකු කුලියට ගත් මෝටර් රථවල දමාගෙන ගොස් එක් පැටවකු රුපියල් 70,000ක මුදලකට කරන්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා තිබියදී මෙම වැටලීම සිදු කර තිබේ.
මෙම සැකකරුවන් බටපොළ ප්‍රදේශයේ ස්ථානයකින් කුලී පදනම මත මෝටර් රථ ලබාගෙන මෙම සොරකම් සිදු කර ඇති අතර සොරකම් කරන ලද ගව පැටවුන් කැලෑවක සඟවා තිබියදී පොලීසිය විසින් සොයා ගන්නා ලදී. එළු මස් සඳහා පවතින අධික මිල ප්‍රයෝජනයට ගනිමින් ගව පැටවුන් මරා එළු මස් ලෙස විකිණීමේ ජාවාරමක් මොවුන් කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බවට ද සැක කෙරේ. සොරකම් කරන ලද ගවයන් ප්‍රවාහනය කිරීමට යොදා ගත් මෝටර් රථ දෙක ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ සූදුවෙන් පරාජය වූ මිතුරෙකුට උදව් කිරීමට මෙම අපරාධය කළ බවයි.
අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනා සහ ගව පැටවුන් මිලදී ගත් පුද්ගලයා බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. කාලයක සිට ප්‍රදේශයේ සිදුවූ එළු සොරකම්වලට ද මොවුන්ගේ සම්බන්ධයක් පවතින්නේ ද යන්න පිළිබඳව අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය විශේෂ අවධානයක් යොමු කර ඇත.














