ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එම ආයතනය වෙත වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් ඉතිරි වූ රුපියල් මිලියන 75ක මුදලක් යළි මහා භාණ්ඩාගාරය වෙත පිරිනමා තිබේ. මහා භාණ්ඩාගාරය වෙත මෙම මුදල් ලබාදීම ඉකුත්දා සිදු වූ අතර ඊට අදාළ චෙක්පත ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිනි මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය විසින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂ සූරියප්පෙරුම මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
2025 අයවැය මඟින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 135ක මුදලක් වෙන් කර තිබූ අතර අයවැය මඟින් මෙලෙස වෙන් කරන ලද පුනරාවර්තන වියදමකින් කොටසක් යළි මහා භාණ්ඩාගාරය වෙත ලබාදීම පදනම් ආයතන ඉතිහාසයේ පළමු වතාවට සිදු වූවක් බව සභාපතිනිය මෙහිදී අවධාරණය කළාය. මූල්‍ය දත්ත වාර්තාවලට අනුව 2025 වසරේ රුපියල් මිලියන 416ක සමස්ත ආදායමක් උපයා ඇති ආයතනය එම වසරේ සමස්ත වියදම මිලියන 340කට සීමා කර ගැනීමට සමත් වී ඇත.
කළමනාකාරිත්වය විසින් ගත් මෙම තීරණයට අදාළ අනුමැතිය 2026 මාර්තු මස පැවැති කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී හිමිව තිබූ බව මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. රාජ්‍ය ආයතනයක් ලාභ ලබමින් රජයෙන් වෙන් කළ මුදල් පවා ඉතිරි කර යළි ලබාදීම අනෙකුත් ආයතනවලට ද කදිම ආදර්ශයක් සපයන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.














