ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින සම්බන්ධීකරණ දුර්වලතා මඟහරවා ගනිමින් ප්‍රතිකාර හා රෝග නිවාරණ සේවා වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් “දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්” ලෙස පත් කිරීමට රජය තීරණය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රිකාවට මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර මධ්‍යම රජය සහ පළාත් සභා යටතේ පවතින සෞඛ්‍ය ආයතන අතර පවතින පරිපාලනමය ගැටලු විසඳීමත් සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිත වීම වැළැක්වීමත් මෙම නව පත් කිරීම්වල ප්‍රධාන අරමුණ වේ. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා හඳුනාගෙන ඒවා ජාතික සැලසුම්වලට ඇතුළත් කිරීමේ වගකීම මෙම මන්ත්‍රීවරුන් වෙත පවරා ඇත.
මේ යටතේ දිස්ත්‍රික්ක 22ක් සඳහා නම් කරන ලද සම්බන්ධීකරණ නිලධාරීන් වන්නේ කොළඹ සඳහා වෛද්‍ය නජිත් ඉන්දික, ගම්පහ සඳහා ධර්මප්‍රිය විජේසිංහ, කළුතර සඳහා වෛද්‍ය නිහාල් අබේසිංහ, මහනුවර සඳහා තනුර දිසානායක, මාතලේ සඳහා දීප්ති නිරංජනී වසලාගේ, නුවරඑළිය සඳහා ටී. මංජුල සුරවීරආරච්චි, ගාල්ල සඳහා වෛද්‍ය නිශාන්ත සමරවීර, මාතර සඳහා ලාල් ප්‍රේමනාත්, හම්බන්තොට සඳහා වෛද්‍ය සඳරුවන් මදරසිංහ, යාපනය සඳහා වෛද්‍ය එස්. ශ්‍රී භවනන්දරාජා, වන්නි සඳහා සෙල්වතම්බි තිලකනාදන්, මඩකලපුව සඳහා කන්දසාමි ප්‍රභූ, දිගාමඩුල්ල සඳහා එම්.එම්. සුගත් රත්නායක, ත්‍රිකුණාමලය සඳහා රොෂාන් අක්මීමන, කුරුණෑගල සඳහා වෛද්‍ය ජගත් ගුණවර්ධන, පුත්තලම සඳහා ගයාන් ජනක, අනුරාධපුර සඳහා සුසන්ත කුමාර නවරත්න, පොළොන්නරුව සඳහා පද්මසිරි බණ්ඩාර, බදුල්ල සඳහා රවින්ද්‍ර බණ්ඩාර, මොණරාගල සඳහා එච්.එම්. සරත් කුමාර, රත්නපුර සඳහා වෛද්‍ය ජනක සේනාරත්න සහ කෑගල්ල සඳහා ආර්.එම්. සමන්ත රණසිංහ යන මහත්ම මහත්මීන්ය. මෙම නිලධාරීන් විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය සංවර්ධන සැලසුම් නිරීක්ෂණය කරන අතර ප්‍රමුඛතා අනුව ව්‍යාපෘති හඳුනාගෙන අමාත්‍යාංශය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.















