කොළඹ නගරයේ පිහිටි ඇමති බංගලා 24ක් සිල්ලර වෙළඳාම, කැෆේ, ආපනශාලා, බුටික් හෝටල් සහ තානාපති කාර්යාල වැනි ආර්ථික කටයුතු සඳහා වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඇමතිවරුන් වෙනුවෙන් නිල නිවාස වෙන් නොකිරීමේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයට අනුව මෙම පියවර ගෙන ඇති අතර, මේ හරහා කෞතුකාගාර, විවේකී ස්ථාන සහ අවන්හල් ඇතුළත් “සංස්කෘතික කලාපයක්” (Cultural Loop) නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාවයි.
මේ යටතේ ස්ටැන්මෝ චන්ද්‍රවංකය, මැකෙන්සි පාර, කැප්පෙටිපොළ මාවත සහ පැජට් පාර යන ප්‍රදේශවල බංගලා 12ක් බුටික් හෝටල් සහ ආපනශාලා සඳහාත්, බෞද්ධාලෝක මාවතේ සහ ස්කෙල්ටන් පාරේ නිවාස කිහිපයක් තානාපති කාර්යාල සහ හෝටල් ව්‍යාපෘති සඳහාත් වෙන් කෙරේ. මීට අමතරව විජේරාම මාවත සහ කොබ්බෑකඩුව මාවතේ පිහිටි බංගලා 9ක් ද කාර්යාල හා නිවාස පරිශ්‍ර ලෙස භාවිත කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘති සඳහා ආයෝජකයන් තෝරා ගැනීම යෝජනා කැඳවීමේ විධිමත් ක්‍රියාවලියක් හරහා සිදු කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර ඇති අතර, අදාළ දේපළ වසර 30ක බදු පදනම මත ලබා දීමට තීරණය කර ඇත.
විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බංගලා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒවායේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු නොකළ යුතු බවට කොන්දේසි පනවා තිබේ. පිට පළාත්වල පිහිටි ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත අතර, ජනාධිපතිවරයා ද සිය පෞද්ගලික පරිහරණය සඳහා නිල මන්දිර භාවිත නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.















