පසුගිය කාලසීමාව තුළ රටේ සිදුවූ මහා පරිමාණ දූෂණ සහ වංචාවලට සම්බන්ධ වූ ප්‍රභූ පන්තිය මේ වන විට දැඩි කලබලයට පත්ව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. අදාළ වංචා සම්බන්ධයෙන් මේ වන විට නඩු පවරා ඇති බැවින් එම පිරිසට නුදුරේදීම බන්ධනාගාරගත වීමට සිදුවනු ඇති බවත්, එම බිය නිසා ඔවුන් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
තමන් ප්‍රමුඛ රජය කිසිසේත් කලබලකාරී දේශපාලනයක නිරත නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා, පසුගිය වසර එකහමාරක කාලය තුළ රජයේ කිසිවෙකුත් වරප්‍රසාද බෙදාගෙන නොමැති බව ද පෙන්වා දුන්නේය. තමන්ට පවා තවමත් නිල වාහනයක් නොමැති බවත්, කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සිය රාජකාරි කටයුතු ජනතාව වෙනුවෙන් නිසි ලෙස ඉටු කිරීම සඳහා වාහනයක අවශ්‍යතාව පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පවතින තත්ත්වය හමුවේ වරප්‍රසාද පසෙකලා ජනතා සේවය ප්‍රමුඛ කරගෙන කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.














