පසුගිය දිනවල ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව තරුණියන් තිදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් අපරික්ෂාකාරී ලෙස ‘වැඩ දමන’ අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්විය. එම දර්ශන ඔස්සේ බුත්තල පොලිස් ස්ථානය මඟින් සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අදාළ යතුරුපැදියේ අයිතිකාරිය, එය පැදවූ තරුණිය සහ පිටුපස ගමන් කළ අනෙක් තරුණියන් දෙදෙනා හඳුනා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මොවුන් කොළඹගේ ආර, හිදිකිවුල සහ උනාවටුන ප්‍රදේශවල පදිංචිකාරියන් බව වාර්තා වේ.
මෙසේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදිය පැදවූ 23 හැවිරිදි තරුණියට වලංගු රියදුරු බලපත්‍රයක් ද නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම, ආරක්ෂිත හිස්වැසුම් නොමැති වීම, නියමිත සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යාම සහ අපරික්ෂාකාරී රිය ධාවනය යන චෝදනා යටතේ පැදිකාරිය අද (11) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. එමෙන්ම රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට රිය ධාවනයට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් යතුරුපැදියේ ලියාපදිංචි අයිතිකාරියට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව බුත්තල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














