ඇල්ල, බල්ලකෙටුව දොඩම්ගොල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම මීටර් 900ක පමණ උසක සිට කඩාවැටුණු විශාල ගල් පර්වතයක් පෙරළීමෙන් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අධික වර්ෂාවත් සමඟ සිදුවූ මෙම අනතුරින් නිවස තුළ නිදාගෙන සිටි අඹුසැමි යුවළක් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මීට අමතරව අසල නිවසක සිටි පුද්ගලයෙකු ද ඇති වූ කම්පනය හේතුවෙන් රෝහල් ගත කර ඇත. ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි මෙම ස්ථානයේ හානිය පරීක්ෂා කිරීම සඳහා ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද මහතා ඇතුළු දේශපාලන අධිකාරිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ නිරීක්ෂණ කටයුතුවල නිරත විය. සිදුවූ හානිය සම්බන්ධයෙන් රජයෙන් ලබාදිය යුතු සහන කටයුතු පිළිබඳව සොයා බැලීමට එහිදී බලධාරීන් පියවර ගෙන තිබේ.














