ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය ලෙස මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (11) ජනාධිපති කාර්යාලයේදී අමාත්‍යවරුන් වන ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ගේ මෙන්ම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. “අභිත්ථරේථ කල්‍යාණේ” තේමාව යටතේ මැයි 27 සිට ජුනි 01 දක්වා ක්‍රියාත්මක වන මෙම වෙසක් මංගල්‍යයේ ප්‍රධාන උත්සවය තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
මෙවර වෙසක් මංගල්‍යය කලාප දෙකකින් සමන්විත වන අතර මාතර ඓතිහාසික කොටු පවුර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිපත්ති පූජා කලාපයත්, මාතර නගරය සහ වෙරළ උද්‍යානය ආශ්‍රිතව ආමිස පූජා කලාපයත් ක්‍රියාත්මක වේ. ප්‍රතිපත්ති පූජා කලාපය තුළ සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් පැවැත්වෙන අතර ආමිස පූජා කලාපය තොරණ, පහන් කූඩු තරග සහ භක්ති ගීත ප්‍රසංගවලින් විචිත්‍රවත් වනු ඇත.
විශේෂත්වය වන්නේ නවීන AI (කෘතිම බුද්ධිය) තාක්ෂණය යොදා ගනිමින් අහසේ මැවෙන බෞද්ධ සංකේත සහ රටා සහිත සංදර්ශන ඉදිරිපත් කිරීමයි. මීට අමතරව දකුණට ආවේණික රූකඩ කලාව මගින් ජාතක කථා ඉදිරිපත් කිරීම සහ නගරය පුරා LED තිර මගින් ඩිජිටල් ජාතක කථා ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කර තිබේ. රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය දායක කරගනිමින් මෙම ජාතික පුණ්‍ය මහෝත්සවය සාර්ථක කර ගැනීමට ජනාධිපති කාර්යාලය අපේක්ෂා කරයි.














