දෙනියාය අධ්‍යාපන කලාපයේ පැතිර ගිය වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ පාසල් එළඹෙන මැයි 13 වන බදාදා දින සිට නැවත විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන් පතිරණ මහතා පවසයි. මුලින් මැයි 12 වන දින පාසල් විවෘත කිරීමට සැලසුම් කර තිබුණද, සෞඛ්‍යාරක්ෂිත පියවර විධිමත්ව සම්පූර්ණ කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
පාසල් නැවත ආරම්භ කිරීමට පෙර සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අද සහ හෙට (මැයි 11 සහ 12) දෙදින තුළ පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම හා විෂබීජහරණය කිරීමේ කටයුතු සිදු කෙරේ. මෙම කටයුතු සඳහා දායක වීමට කැමති ස්වේච්ඡා පුද්ගලයින් හෝ ආයතන වෙතොත් දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලය හා සම්බන්ධ වන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, නිවාඩු ලබා දී ඇති පෙර පාසල් මෙම සතිය පුරා තවදුරටත් වසා තැබෙනු ඇත.














