ලෝක වෙළඳපළේ පොහොර මිල ඉහළ යාම හමුවේ දේශීය ගොවියාට සිදුවන පීඩනය අවම කිරීම සඳහා කුඩා තේ වතු හිමියන්ට රුපියල් 5,000ක අතිරේක පොහොර සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාරය මගින් දැනටමත් වෙන් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
පවතින යුදමය වාතාවරණය හේතුවෙන් නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම නිසා ආනයනික පොහොර මිල ඉහළ ගොස් ඇත. ඒ අනුව දැනටමත් වී ගොවියන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 5,000 බැගින් හෙක්ටයාර දෙකක් සඳහා රුපියල් 10,000ක උපරිමයකට යටත්ව සහනාධාරයක් ලබා දී තිබේ. එම ක්‍රමවේදයම අනුගමනය කරමින් කුඩා තේ වතු හිමියන්ට ද රුපියල් 5,000ක අතිරේක සහනාධාරයක් ලබා දීමට රජය පියවර ගෙන ඇත.
රට තුළ පොහොර හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බවත්, මිල ඉහළ ගිය ද ගොවියාට සිදුවන පාඩුව අවම කිරීමට රජය අඛණ්ඩව මැදිහත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














