පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන “අදිසි” විශේෂ මෙහෙයුම් මාලාව යටතේ අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිස් කොට්ඨාස මට්ටමින් දැඩි සෝදිසි කිරීම් ආරම්භ කර ඇත. ප්‍රාදේශීය පොලිස් ස්ථාන ඒකාබද්ධව සිදුකරන මෙම විශේෂ මෙහෙයුම් මඟින් විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් සහ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම වේගවත් කර තිබේ.
ඒ අනුව, 2026 මැයි 11 වන දින සිදුකරන ලද මෙහෙයුම්වල ප්‍රගතිය පහත පරිදි වේ:
ඉකුත් දිනයේදී පුද්ගලයන් 27,381 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, සැකපිට පුද්ගලයන් 556 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් 28 දෙනෙකු ද, විවෘත වරෙන්තු සහ දින වරෙන්තු ලබා සිටි පුද්ගලයන් 499 දෙනෙකු ද මෙහිදී පොලිස් භාරයට පත්ව තිබේ. මීට අමතරව මාර්ග විනය සුරැකීමේ අරමුණින් සිදුකළ රථවාහන මෙහෙයුම්වලදී බේමතින් රිය පැදවූ පුද්ගලයන් 73 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථවාහන වැරදි 4,143 ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇත.















