ditwah සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සහ එම ප්‍රදේශ සංවර්ධනය වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 500ක ප්‍රතිපාදනවලට අදාළ සියලු ව්‍යාපෘති මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අද (12) පෙරවරුවේ මාතලේ කැප්පෙටිපොළ ශාලාවේ පැවති මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ බලය, ධනය හෝ දේශපාලන සබඳතා මත නීතිය ඉටු නොවූ සංස්කෘතිය වෙනස් කර සියලු දෙනා නීතියට යටත් වන නව සංස්කෘතියක් ඇති කිරීමට රජය පියවර ගෙන ඇති බවයි. රාජ්‍ය නිලධාරීන්ට පවතින නීති රාමුව තුළ සිට බියකින් තොරව රාජකාරි ඉටු කිරීමට පූර්ණ නිදහස පවතින බවත්, අවශ්‍ය නම් නීති සංශෝධනය කරමින් හෝ ජන ජීවිතය ගොඩනැංවීමට උපරිමයෙන් කැපවන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
දිස්පා සුළි කුණාටුවෙන් හානි වූ පවුල් සඳහා ලබා දුන් රුපියල් 25,000 සහ 50,000 දීමනා මෙන්ම සිසුන් සඳහා වූ රුපියල් 15,000 හා 10,000 දීමනා ද මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වන විට ගෙවා අවසන් කර ඇත. තක්සේරුවකින් තොරව වන්දි ලබා දිය හැකි සියලු නිවාස වෙනුවෙන් වන්දි ලබා දී අවසන් අතර, නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය ද වේගවත් කර තිබේ. එසේම දීර්ඝ කාලීන ගැටලුවක්ව පවතින දඹුල්ල – මාතලේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් අවධාරණය කළේය.














