ඉරානය කේන්ද්‍ර කරගනිමින් හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ, ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. හයිද්‍රාබාද්හි පැවැති උත්සවයකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ පවතින ආර්ථික අභියෝග හමුවේ ජීවන රටාවේ වෙනස්කම් සිදු කිරීම ජාතික යුතුකමක් බවයි.
ඉන්ධන පිරිමසා ගැනීම සඳහා නැවතත් ‘නිවසේ සිට වැඩ කිරීමේ’ (Work-from-home) ක්‍රමවේදයට හුරුවන ලෙසත්, පෞද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහන ක්‍රම භාවිත කරන ලෙසත් ඔහු දැනුම් දී තිබේ. එමෙන්ම විදේශ විනිමය වැයවීම පාලනය කිරීම සඳහා අවම වශයෙන් වසරක කාලයකට රත්තරන් මිලදී ගැනීමෙන් සහ අත්‍යවශ්‍ය නොවන විදේශ සංචාරවලින් වළකින ලෙසත්, රසායනික පොහොර භාවිතය අඩකින් පමණ අඩු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් සහ ගොවීන්ගෙන් ඉල්ලා සිටී.
පසුගිය පෙබරවාරි 28 වැනිදා යුදමය තත්ත්වය ආරම්භ වීමෙන් පසු බොරතෙල් බැරලයක මිල ඩොලර් 72 සිට 105 දක්වා 50%කින් පමණ ඉහළ ගොස් ඇත. ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය පෙබරවාරි මාසයේ පැවති ඩොලර් බිලියන 728.5 සිට මැයි මුල වන විට ඩොලර් බිලියන 690.69 දක්වා වේගයෙන් පහත වැටීම මෙම දැඩි තීරණවලට මූලික හේතුව වී තිබේ. ලොව තෙවන විශාලතම තෙල් ආනයනකරු වන ඉන්දියාව, රත්තරන් ආනයනය සඳහා පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 72ක් පමණ වැය කරයි.














