ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) මව් සංවිධානය ලෙස සැලකෙන රාෂ්ට්‍රීය ස්වයංසේවක් සංගමය (RSS), සුළුතර ප්‍රජාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය පතුරුවන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය යන රටවල විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබේ. ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු කොමිසම (USCIRF) පසුගිය නොවැම්බර් මාසයේදී නිකුත් කළ වාර්තාවක RSS සංවිධානය දශක ගණනාවක් පුරා සුළුතර කණ්ඩායම්වලට එරෙහිව අන්තවාදී ප්‍රචණ්ඩත්වයට සහ නොඉවසීමට සම්බන්ධ වී ඇති බවට චෝදනා කිරීමෙන් පසුව මෙම විදේශ සංචාර සංවිධානය කර ඇත.
නවදිල්ලියේ පිහිටි RSS මූලස්ථානයේදී විදේශීය මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ එහි ප්‍රධාන ලේකම් දත්තාත්‍රේය හොසබාලේ මහතා ප්‍රකාශ කළේ, තම සංවිධානය අර්ධ මිලිටරි කණ්ඩායමක් ලෙසත්, හින්දු ආධිපත්‍යවාදය පතුරුවමින් අනෙක් ජන කොටස් දෙවන පෙළ පුරවැසියන් බවට පත් කිරීමට උත්සාහ කරන බවටත් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. මෙම සංචාරවලදී ඔහු විදේශීය විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ව්‍යාපාරික නායකයින් හමුවී ඇති අතර, ඉදිරියේදී යුරෝපයේ සහ අග්නිදිග ආසියාවේ තවත් රටවල් කිහිපයක මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
1925 වසරේදී ආරම්භ කරන ලද RSS සංවිධානය, ඉන්දියාවේ “හින්දු කේන්ද්‍රීය ශිෂ්ටාචාරමය සහ සංස්කෘතික ව්‍යාපාරයක්” ලෙස තමන්ව හඳුන්වා ගත්තද, රාහුල් ගාන්ධි ඇතුළු ඉන්දීය විපක්ෂ නායකයින් දිගින් දිගටම චෝදනා කරන්නේ මෙම සංවිධානය ඉන්දියාවේ ලෞකික රාමුවට තර්ජනයක් වන බෙදුම්වාදී මතවාදයන් පතුරුවන බවයි. කෙසේ වෙතත්, හින්දු කුල පීඩනය අවසන් කිරීම තම සංවිධානයේ මීළඟ ප්‍රධාන ඉලක්කයක් බව ද හොසබාලේ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














