අන්තර්ජාලය ඔස්සේ ළමා ලිංගික අපයෝජන දර්ශන (CSAM) ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් වෙත පසුගිය වසර දෙකක කාලය තුළ අනතුරු ඇඟවීමේ පණිවිඩ මිලියන 70කට අධික සංඛ්‍යාවක් යොමු කර ඇති බව ලුසී ෆේත්ෆුල් පදනම (Lucy Faithfull Foundation) පවසයි. ගූගල් (Google), ටික්ටොක් (TikTok) සහ මෙටා (Meta) වැනි ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් සමඟ එක්ව ක්‍රියාත්මක කරන ‘Project Intercept’ වැඩසටහන යටතේ මෙම පණිවිඩ යොමු කෙරේ. මෙහි විශේෂත්වය වන්නේ අදාළ අන්තර්ගතයන් අවහිර කිරීමට පමණක් සීමා නොවී, එවැනි දර්ශන නැරඹීමේ නීති විරෝධීභාවය පෙන්වා දෙමින් පුද්ගල හැසිරීම් වෙනස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන සේවාවන් වෙත පරිශීලකයින් යොමු කිරීමයි.
මෙම අනතුරු ඇඟවීම් ලැබූ පිරිසෙන් 700,000කට ආසන්න සංඛ්‍යාවක් වැඩිදුර සහාය ලබා ගැනීම සඳහා පදනමේ සම්පත් පරිශීලනය කර ඇති අතර, එය සමස්ත පණිවිඩ සංඛ්‍යාව හා සැසඳීමේදී අඩු මට්ටමක පවතින බව විද්වතුන් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, උපකාර පතා පැමිණෙන පුද්ගලයින්ගෙන් 80%කට වඩා වැඩි පිරිසක් අඛණ්ඩව එම සේවාවන් සමඟ සම්බන්ධ වන බැවින් මෙම ක්‍රමය සාර්ථක බව ලුසී ෆේත්ෆුල් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී ඩෙබොරා ඩෙනිස් සඳහන් කරයි. බ්‍රිතාන්‍යයේ සන්නිවේදන නියාමන ආයතනය වන Ofcom පවසන්නේ මෙවැනි මැදිහත්වීම් මගින් අන්තර්ජාලය තුළ සිදුවන හානිකර ක්‍රියාකාරකම් අවම කිරීමට විශාල පිටුවහලක් ලැබෙන බවයි.















