ඕස්ට්‍රේලියාවේ රිවරීනා (Riverina) ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා අධික වේගයෙන් රිය පදවා අනතුරක් සිදුකළ 27 හැවිරිදි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සහ විශාල මුදලක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. හියුම් අධිවේගී මාර්ගයේ (Hume Highway) ටම්බ්ලොන්ග් ප්‍රදේශයේදී පැයට කිලෝමීටර 110ක සීමාව පවතින ස්ථානයක පැයට කිලෝමීටර 145ක වේගයෙන් ධාවනය වූ මෙම මෝටර් රථය ඊයේ (12) දහවල් 2ට පමණ පොලිස් පරීක්ෂාවට ලක් කර ඇත.
මූලික මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සැකකරු මෙතම්පෙටමින් (methamphetamine) සහ කොකේන් (cocaine) ලබාගෙන ඇති බවට තහවුරු වී ඇති අතර පොලිස් අණ නොතකා මාර්ගයේ වැරදි දිශාවෙන් රිය පදවා ඔහු පලා ගොස් තිබේ. පසුව ලොරි රථ රියදුරන්ගෙන් ලැබුණු තොරතුරු මත සිදු කළ මෙහෙයුමකදී කූලැක් (Coolac) ප්‍රදේශයේදී මෙම මෝටර් රථය අනතුරට ලක්ව තිබියදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.
මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී ඕස්ට්‍රේලියානු ඩොලර් 74,000කට වැඩි මුදලක් (රුපියල් ලක්ෂ 220කට අධික), මෙතිල්ඇම්පෙටමින් ග්‍රෑම් 13ක්, කොකේන් ග්‍රෑම් 2.6ක්, GHB මිලිලීටර් 500ක්, කෙටමින් ග්‍රෑම් 2ක් සහ ගංජා ග්‍රෑම් 20ක් සොයාගෙන ඇත. වග්ගා වග්ගා (Wagga Wagga) පොලිස් ස්ථානයට රැගෙන ආ සැකකරුට එරෙහිව අනතුරුදායක ලෙස රිය පැදවීම, බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ පොලිස් නිලධාරීන්ට බාධා කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ නඩු පවරා තිබේ. සැකකරුට ඇප ලබා දීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු ලබන බදාදා (20) දින නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














