‘ශ්‍රී බෞද්ධා ලෝකය’ වෙසක් අභිමංගල්‍යය සඳහා කොළඹ බෞද්ධාලෝක මාවත වෙන්කිරීමේ අවසර පත්‍රය ලබාදීමට රුපියල් ලක්ෂ 30 ක අල්ලස් මුදලක් දීමට යෝජනා කළ බවට පැමිණිල්ලක් ලැබී ඇති බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය ප්‍රකාශ කළාය. ඊයේ (12) පැවැති නගර සභා රැස්වීමේදී විපක්ෂ නායක රීසා සරුක් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසූ අතර, ලෝක බෞද්ධ සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානය විසින් කොළඹ මහ නගර සභාව වෙත යොමුකර ඇති ලිපියක සඳහන් වන්නේ මෙම වෙසක් කලාපය සඳහා ලබාදී තිබූ අවසර පත්‍රය අවලංගු කර වෙනත් පාර්ශවයකට ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් දීමට උත්සාහ කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් 2026 මාර්තු 11 වන දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇති අතර එහි විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද එම ලිපියේ සඳහන් වේ. අදාළ ලිපිය මගින් මෙම අල්ලස් ලබාදීමට තැත් කිරීම සහ අවසර පත්‍රය අවලංගු කිරීම සම්බන්ධයෙන් අපරාධමය පරීක්ෂණයක් පවත්වන ලෙසත්, 2026 පෙබරවාරි 18 වන දින නිකුත් කළ අවසර පත්‍රය නැවත බලාත්මක කරන ලෙසත් ඉල්ලා ඇත. කෙසේ වෙතත්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සම ලේකම් දිලුම් වාහලතන්ත්‍රි මහතා පවසන්නේ සිද්ධියට සම්බන්ධ බව කියන සුදත් දේවපුර මහතා තම සම්මේලනයේ සාමාජිකයෙකු පවා නොවන බවත්, තම සංගමය අධිකරණය හරහා නිත්‍යානුකූලව අදාළ අවසරය ලබාගත් බවත්ය. සුදත් දේවපුර මහතාගේ සාමාජිකත්වය මීට පෙර අහෝසි කර ඇති අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














