ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ආචාර්ය නයියර් නසීර් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර විශේෂ හමුවක් පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින්, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත තරුණ හුවමාරු වැඩසටහන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
දෙරටේ තරුණ පරපුරේ කුසලතා සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා නිල අවබෝධතා ගිවිසුමකට එළැඹීමට මෙහිදී දෙපාර්ශවයම එකඟතාව පළ කළහ. විශේෂයෙන්ම තරුණ නායකත්ව පුහුණුව සහ සංස්කෘතික හුවමාරුව මඟින් දෙරටේ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට මෙහිදී මූලිකත්වය හිමි විය.
ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා පාකිස්තානයේ සහයෝගය ලබාදීමට ද මහ කොමසාරිස්වරයා මෙහිදී එකඟතාව පළ කළේය. ඒ අනුව දෙරට අතර ක්‍රිකට් තරගාවලි සංවිධානය කිරීම සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තාක්ෂණික සහ අනෙකුත් සහයෝගීතාවන් ලබා ගැනීමට ද අවධානය යොමු විය.
මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. මෙම නව සහයෝගීතාවය හරහා දෙරටේම ක්‍රීඩා හා තරුණ ක්ෂේත්‍රයන්හි නව පිබිදීමක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














