මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළව විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද (14) තීරණය කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, විත්තිකරුට එරෙහිව එල්ල වී ඇති කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය දැක්වූ කරුණු පදනම් විරහිත බව විනිසුරුවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව අදාළ චෝදනාව යටතේ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බව අධිකරණය නිගමනය කළේය.
මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව විවෘත අධිකරණයේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහි චෝදනා පත්‍රය කියවා දීම සිදු කෙරුණු අතර, එහිදී විත්ති කූඩුවේ සිටි ඒ මහතා තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශයත් සමඟ අදාළ නඩු විභාගය නිල වශයෙන් ආරම්භ වී ඇති බව වාර්තා වේ.














