ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ගාමක බලවේගය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) දේශීය හා ගෝලීය වශයෙන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් “SME Nexus” 2026 ජාතික උපායමාර්ගික රාමුව ඊයේ (13) දින නිල වශයෙන් එළිදක්වන ලදී. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා අමාත්‍ය ක්‍රිශාන්ත අබේරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග වීරරත්න සහ අරුණ ජයසේකර ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පාර්ශ්වකරුවන් රැසක් එක්ව සිටියහ. මෙරට ලියාපදිංචි ව්‍යාපාරවලින් 75%කට අධික ප්‍රමාණයක් නියෝජනය කරන, දළ දේශීය නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් සපයන මෙම ක්ෂේත්‍රය මුහුණ දෙන ව්‍යුහාත්මක බාධක ඉවත් කර ඔවුන් අපනයන අභිමුඛ ව්‍යවසායකයන් බවට පත් කිරීම මෙම වැඩසටහනේ මූලික අභිප්‍රායයි.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම යටතේ ක්‍රියාත්මක වන මෙම උපායමාර්ගික රාමුව ප්‍රධාන අංශ 11ක් ඔස්සේ ගොඩනැගී ඇති අතර තාක්ෂණික හා ඩිජිටල් සවිබල ගැන්වීම, ආයතනික ඒකාබද්ධතාවය සහ මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම ඒ අතර ප්‍රධාන වේ. විශේෂයෙන්ම ‘තනි කවුළු’ (Single-window) සේවා මධ්‍යස්ථාන සහ ‘SME Connect’ ඇමතුම් මධ්‍යස්ථානය හරහා කාර්යක්ෂම සේවා සැපයීමටත්, සංවර්ධන නිලධාරීන් ‘සබඳතා නිලධාරීන්’ ලෙස පුහුණු කර ව්‍යවසායකයාට සෘජු මඟපෙන්වීම ලබා දීමටත් මෙහිදී සැලසුම් කර ඇත. මීට අමතරව, ව්‍යාපාර වර්ධනය සඳහා ‘වර්ධන අරමුදලක්’ (Growth Fund) ස්ථාපිත කිරීම සහ පාසල් හා විශ්වවිද්‍යාල මට්ටමින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර තිබේ.
මෙම නව රාමුව ක්‍රියාත්මක වීමත් සමඟ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර ලියාපදිංචිය සරල කර ගැනීමටත්, නොමිලේ උපදේශන සේවා ලබා ගැනීමටත්, නවීන තාක්ෂණය හා ගෝලීය අගය දාමයන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමටත් අවස්ථාව උදා වේ. දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සඳහා SIBA ඒකකය හරහා ව්‍යාපාරික බුද්ධි පර්යේෂණ සහාය ලබා දීම ද මෙහි තවත් සුවිශේෂී අංගයකි. මෙම ජාතික වැඩපිළිවෙළ හරහා මෙරට අපනයන ආදායම ඉහළ නංවා ගනිමින් නව රැකියා උත්පාදනය කර තිරසාර ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කිරීම රජයේ අපේක්ෂාවයි.














