සිඩ්නි නුවර අභ්‍යන්තර බටහිර ප්‍රදේශයේ ඊයේ (13) ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් මෙහෙයුමකින් පසුව පුද්ගලයෙකුට චෝදනා එල්ල කර තිබේ. වෝකර් වීදියේ (Walker Street) පිහිටි නිවාස සංකීර්ණයක ගිනි අවියක් රැගත් පුද්ගලයෙකු සිටින බවට ලැබුණු තොරතුරු මත ඊයේ උදෑසන 8:30 ට පමණ පොලිසිය එම ස්ථානයට කැඳවා ඇත.
මාර්ගයේ වැඩ කරමින් සිටි සේවකයින් පිරිසක් අසලට ගිනි අවියක් රැගෙන පැමිණි නාඳුනන පුද්ගලයෙකු පසුව එම වීදියේම පිහිටි මහල් නිවාසයකට ඇතුළු වී තිබේ. ඒ අනුව එම ප්‍රදේශය වටකර පොලිස් ආරක්ෂාව දැඩි කළ අතර කැරලි මර්දන ඒකකයේ (Public Order Riot Squad) සහාය ද ලබාගන්නා ලදී. පසුව උදෑසන 9:50 ට පමණ වෝකර් වීදියේ අදාළ ගොඩනැගිල්ල තුළදී 36 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. සැකකරු මුලින් බර්වුඩ් (Burwood) පොලිස් ස්ථානයටත් පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා කොන්කෝඩ් රෝහලටත් (Concord Hospital) ඇතුළත් කර ඇති අතර පසුව එම නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ගිනි අවි (Replica firearms) දෙකක් සහ සුළු ප්‍රමාණයක ගංජා පොලිසිය විසින් සොයාගෙන තිබේ.
රෝහලෙන් මුදා හැරීමෙන් පසුව සැකකරුට එරෙහිව ශාරීරික හානි සිදුකිරීමේ චේතනාවෙන් බිය ගැන්වීම හෝ ලුහුබැඳීම (චෝදනා දෙකක්), ගිනි අවියක් හෝ ව්‍යාජ ගිනි අවියක් සහිතව ගොඩනැගිල්ලකට ඇතුළු වීම, පොදු ස්ථානයක ලියාපදිංචි නොකළ බලපත්‍ර රහිත ගිනි අවියක් ළඟ තබා ගැනීම, පොදු ස්ථානයක පිහියක් ළඟ තබා ගැනීම, රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකුට පහර දී තුවාල සිදුකිරීම සහ පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා එල්ල විය. සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු අද (14) බර්වුඩ් මහේස්ත්‍රාත් අධිකරණය (Burwood Local Court) හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.














