ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩකයින් තිදෙනෙකු සමත්ව තිබේ. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත සුපුන් සෝමතිලක, සඳු ජයවර්ධන සහ රවිහාරි ගුණතිලක මෙලෙස සුදුසුකම් ලබාගෙන ඇත.
මෙහිදී පිරිමි කිලෝග්‍රෑම් 60ට අඩු බර පන්තිය නියෝජනය කළ සුපුන් සෝමතිලක සමස්ත කිලෝග්‍රෑම් 255ක් ඔසවමින් පස්වැනි ස්ථානය දිනාගත් අතර, පිරිමි කිලෝග්‍රෑම් 65 බර පන්තිය යටතේ තරග කළ සඳු ජයවර්ධන සමස්ත කිලෝග්‍රෑම් 275ක් එසවීමට සමත් විය. මීට අමතරව කාන්තා කිලෝග්‍රෑම් 48ට අඩු බර පන්තිය නියෝජනය කළ රවිහාරි ගුණතිලක සමස්ත කිලෝග්‍රෑම් 161ක් ඔසවමින් පස්වැනි ස්ථානය හිමිකර ගනිමින් ග්ලාස්ගෝ ක්‍රීඩා උලෙළ සඳහා සිය ස්ථානය වෙන් කරවා ගත්තාය.














