ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ එක් පුද්ගලයෙකු මියගොස් ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහාමාන්කඩවල වැව නැවත වරක් බිඳී යාම හේතුවෙන් අක්කර සිය ගණනක වගා බිම් විනාශ වී ඇත. රාජාංගනය, නාච්චාදුව, තබ්බෝව සහ ලුණුගම්වෙහෙර ඇතුළු ප්‍රධාන වාරි ජලාශ 37ක් මේ වන විට වාන් දමමින් පවතී. ගංගා සහ වැව් ආශ්‍රිතව දිය කෙළිය, විනෝදවීම සහ ඔරු පැදීම වැනි ක්‍රියාවලින් වළකින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු අඟවා සිටියි.පුත්තලම ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කිරීමට පියවර ගෙන තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ සියලුම ක්‍රිකට් තරග අවලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. නායයාමේ අවදානම හේතුවෙන් බදුල්ල, ගාල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය. පීඩාවට පත් ජනතාව මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව පැය 24 පුරා සූදානමින් පසුවෙයි.














