ව්‍යාපාරික ඊමේල් අවභාවිත කිරීමේ (BEC) වංචාවක් හරහා උපයාගත් රුපියල් ලක්ෂ 6,000කට (ඩොලර් 600,000) අධික මුදලක් යොදවා රන් බිස්කට් (Gold Bullion) මිලදී ගැනීමට තැත් කළ තිදෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.මෙම විමර්ශනය ආරම්භ වූයේ 20 හැවිරිදි තරුණියක් සති දෙකක් තුළ පස් වතාවකදී ඩොලර් ලක්ෂයක රන් බිස්කට් මිලදී ගත් බවට ලැබුණු තොරතුරු මතයි. ‘නැෂනල් ඕස්ට්‍රේලියා බැංකුව’ (NAB) විසින් ලබා දුන් තොරතුරු මත මෙම මුදල් වංචා සහගත ලෙස උපයාගත් ඒවා බවට හඳුනා ගැනීමට හැකි විය. ඊයේ (මැයි 14) පස්වරුවේ සිඩ්නි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ රන් අලෙවි සැලකදී අදාළ තරුණිය සහ ඇය සමඟ සිටි 36 සහ 29 හැවිරිදි පිරිමින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් විය.සැකකරුවන් සන්තකයේ තිබී ඩොලර් 34,000ක මුදලක් සහ ජංගම දුරකථන රැසක් පොලිසිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව අපරාධ කණ්ඩායමකට සම්බන්ධ වීම සහ වංචා සහගත ලෙස මුදල් පරිහරණය කිරීම යන චෝදනා යටතේ නඩු පවරා ඇත. ඔවුන්ට ඇප ලබා දීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මෙම වංචාවට හසු වූ මුදල්වලින් ඩොලර් 300,000ක පමණ ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන ඇති බව වාර්තා වේ.














