අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7කට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ජන ජීවිතයට සහ ප්‍රවාහන කටයුතුවලට ඉන් දැඩි බාධා පැමිණ තිබේ. රත්නපුර, ගාල්ල, මොනරාගල, මඩකලපුව, කළුතර, කොළඹ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල පුද්ගලයන් 3,475 දෙනකු පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එක් පුද්ගල මරණයක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 83 දෙනකු ආරක්ෂිත ස්ථානවල රඳවා සිටී.
මධ්‍යම කඳුකරයට ලැබෙන තද වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලීමට පටන් ගෙන ඇති අතර මේ හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතී. රාජාංගණය, ලුණුගම්වෙහෙර, දැදුරුඔය, අලිකොටආර සහ වෙහෙරගල ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති අතර තවත් ප්‍රධාන හා මධ්‍යම පරිමාණ ජලාශ 36ක් පමණ මේ වන විට වාන් දමමින් පවතී. කළු, නිල්වලා, ගිං ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම් වැසියන් දැඩි අවධානයෙන් සිටිය යුතුය. කෙසේ වෙතත් මහවැලි ජලාශවල ජල මට්ටම් තවමත් පවතිනුයේ අඩු අවදානම් මට්ටමක බව බලධාරීන් පෙන්වා දෙයි.
දිස්ත්‍රික්ක 12ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 21කට විශේෂ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. පවතින ආපදා තත්ත්වය හමුවේ මහනුවර – තලාතුඔය මාර්ගයේ උඩදෙල්තොට පාලම ගිලා බැසීම සහ නායයෑමේ අවදානම හේතුවෙන් කොත්මලේ – ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා ඇත. මන්නාරම සිට මැදවච්චිය දක්වාත් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට අඹේවෙල දක්වාත් දුම්රිය ධාවනය ද අත්හිටුවා තිබේ.
ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගොස් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කළද එතෙක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැක. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය. පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු කලාපවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි අතර රළ උස ද ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාවට ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.














