කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ නව ඉබෝලා (Ebola) වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ. මෙම භයානක වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන අතර සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි කොංගෝවේ නැගෙනහිර ඉටුරි පළාතේ රෝගී තත්ත්වය දැඩි ලෙස පැතිර යාම හේතුවෙන් එම ප්‍රදේශයේ වසංගත තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.
ඉබෝලා වෛරසය සාමාන්‍යයෙන් වවුලන් සහ වඳුරන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට බෝ වන අතර ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය හෝ ශරීර දියර ස්පර්ශ වීමෙන් තවත් අයෙකුට ඉතා ඉක්මනින් වැළඳීමේ අවදානමක් පවතී. අධික උණ, දැඩි තෙහෙට්ටුව සහ පේශි වේදනාව මෙහි මූලික රෝග ලක්ෂණ වන අතර දරුණු අවස්ථාවලදී අභ්‍යන්තර හා බාහිර රුධිර වහනය පවා සිදුවිය හැකිය. මෙය 25% සිට 90% දක්වා ඉහළ මරණ අනුපාතයක් සහිත මාරාන්තික වෛරසයක් බැවින් අප්‍රිකානු සෞඛ්‍ය බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව එන්නත්කරණ සහ නිරෝධායන කටයුතු කඩිනම් කරමින් වෛරසය පාලනය කිරීමට පියවර ගෙන තිබේ














