ශ්‍රී ලංකාව තුළ දුම්කොළ භාවිතය සහ දුම්පානය නතර කිරීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙරට ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල කිහිපයක් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් පසුගියදා කොළඹදී ආරම්භ කරන ලදී. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණේ දුම්කොළ පරිභෝජනය අවම කිරීම හුදෙක් සෞඛ්‍ය අරමුණක් පමණක් නොව එය ජාතික සංවර්ධනයේ ප්‍රධානතම ප්‍රමුඛතාවක් වන බවයි. ලෝක සෞඛ්‍ය පිළිබඳ ‘Respire’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, රජරට, වයඹ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යන ආයතන එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන මගින් ආසියානු කලාපයේ අවදානම් සහගත ප්‍රජාවන්ගේ ශ්වසන රෝග අවම කර ඔවුන්ගේ සෞඛ්‍ය මට්ටම නංවාලීමට ජාත්‍යන්තර මැදිහත්වීමක් අපේක්ෂා කරයි.
විශේෂයෙන්ම දුම්පානය නතර කිරීම සඳහා සාක්ෂි මත පදනම් වූ විද්‍යාත්මක ප්‍රවේශයන් සහ උපාය මාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස් බුලන් මහතා ද සූම් තාක්ෂණය ඔස්සේ සිය අදහස් දක්වමින් ජාතික මට්ටමේ වැඩසටහනක අවශ්‍යතාව පෙන්වා දුන්නේය. දුම්කොළ භාවිතය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් පවුල් ඒකකයට මෙන්ම රටේ ආර්ථිකයට ද විශාල බරක් පටවන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා රජයේ මූලික අරමුණ රෝගී වූ පසු ප්‍රතිකාර කිරීමට වඩා රෝග ඇතිවීම වැළැක්වීම බව අවධාරණය කළේය. තරුණ පරපුර ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන දුම්කොළ කර්මාන්තයේ විවිධ උපක්‍රමවලට එරෙහිව ප්‍රතිපත්තිමය වශයෙන් ශක්තිමත්ව සිටිය යුතු බවත් සෞඛ්‍ය සම්පන්න ජාතියක් යනු ශක්තිමත් ආර්ථිකයක පදනම බවත් පවසමින් මෙම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යන බව රජය සහතික කර සිටියි.














