ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව විසින් සිදුකළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට බැර කර ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි. ඩුබායි හි නියෝජිත ආයතනයකට ගෙවිය යුතු වූ අදාළ මාසික මුදල ගෙවීමේදී මෙම බරපතළ මූල්‍යමය අතපසුවීම සිදුව ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. මෙම මුදල් එමිරේට්ස් එන්.බී.ඩී (Emirates NBD) බැංකු ගිණුමකට යොමු කළ යුතුව තිබුණ ද, චෙන්නයි ශාඛාව විසින් එම මුදල් අබුඩාබි ඉස්ලාමීය බැංකුවේ (Abu Dhabi Islamic Bank) ගිණුමකට බැර කර ඇති බව අනාවරණය වී තිබේ.
මෙලෙස වැරදීමකින් බැර වී ඇති මුදල ඩිරාම් 974,500ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 80කට අධික අතිවිශාල මුදලකි. වෙනත් ගිණුමකට බැර වූ මෙම මුදල් නැවත ලබා ගැනීමට මෙතෙක් නොහැකි වීම හේතුවෙන් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මේ පිළිබඳව රජය වහාම මැදිහත් වී පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු අනාවරණය කළ යුතු බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.














