අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙදින නිල චීන සංචාරය නිමවා යළි දිවයිනට පැමිණ ඇති අතර, එම සංචාරය ජයග්‍රහණ රැසක් අත්කරගත් අතිශය සාර්ථක මෙහෙයුමක් බව ප්‍රකාශ කර තිබේ. පසුගිය 13 වනදා ආරම්භ වූ මෙම සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැත්වූ සාකච්ඡා වට රැසකින් අනතුරුව ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ ධවල මන්දිරය වෙත යළි පැමිණෙමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම හමුවේදී රාජ්‍ය නායකයන් දෙපළ අතර ඉතා සුහදශීලී මෙන්ම උණුසුම් අදහස් හුවමාරුවක් සිදු වූ බවයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය පාලනය කිරීම සඳහා චීනය සහ රුසියාව සතු කාර්යභාරය තීරණාත්මක බව විචාරකයින් පෙන්වා දෙන පසුබිමක මෙම සංචාරය ලෝකයේම අවධානයට ලක් විය. මේ අතර, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින සටන් විරාමය තවත් දින 45කට දීර්ඝ කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, පසුගිය මාර්තු 2 වනදා සිට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගිය ලෙබනන් වැසියන් සංඛ්‍යාව 2,951 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.














