Agoda, Booking.com සහ Expedia වැනි ජාත්‍යන්තර මාර්ගගත වෙන්කිරීමේ වෙබ් අඩවි හරහා ප්‍රවර්ධනය වන ලියාපදිංචි නොකළ නවාතැන්පොළවල් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා හෝටල් සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමය අවධාරණය කළේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නිසි පරිදි ලියාපදිංචි වූ ආයතනවලට පමණක් මෙම වෙබ් අඩවිවල ලැයිස්තුගත වීමට ඉඩ සලසන නව නීතිමය රාමුවක් සකස් කළ යුතු බවයි.
හෝටල් සංගමයේ සභාපති අශෝක හෙට්ටිගොඩ මහතා පෙන්වා දෙන්නේ නිසි පරිදි ලියාපදිංචි වී පවත්වාගෙන යන හෝටල්, තමන් උපයන සෑම රුපියල් 100කින්ම රුපියල් 25කට ආසන්න මුදලක් බදු සහ බලපත්‍ර ගාස්තු ලෙස රජයට ගෙවන බවයි. එහෙත් නියාමනයක් නොමැති නවාතැන්පොළවල් කිසිදු බද්දක් නොගෙවා කටයුතු කිරීම නිසා ක්ෂේත්‍රය තුළ අසාධාරණ තරඟකාරීත්වයක් නිර්මාණය වී ඇති බව ඔවුහු පවසති. මෙමගින් රජයට ලැබිය යුතු බදු ආදායම අහිමි වනවා සේම, සංචාරකයින්ගේ ආරක්ෂාව සහ සේවා ප්‍රමිතිය පිළිබඳව ද ගැටලු පවතින බව හෝටල් සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම ගැටලුව විසඳීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද මෙහිදී අනාවරණය කෙරිණි.














